Loading...

එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැති ධුරයට පත් විය. ඒ සමඟ දින 51ක් රට ව්‍යාකූල කළ දේශපාලන බල අරගලය හමාර වූ බව පෙනේ. එහෙත් 2015 වසරේදී යහපාලන ආණ්ඩුව බලයට පත්වන මොහොතේ පැවති උණුසුම් හැඟීම් දැන් නැත. දෙපක්ෂයේම අය ඔරවාගත් මුහුණු ඇතිව දේශපාලන ගනුදෙනුවක යෙදී සිටිති. පසුගිය ඉරිදා රනිල් අගමැති ධුරයේ පත්වීම් ලද්දේ මැතිසබයේ 225 දෙනාම කීවත් තමන් රනිල්ට අගමැතිකම නොදෙන බවට සපථ කළ ජනාධිපතිවරයාම අතිනි. එහෙත් දිව්රුම් දුන් දවසේ ජනාධිපති කාර්යාලයේ සිදුවූ කියුම් කෙරුම් විමසා බලන විට දෙපක්ෂය ඉදිරියට මෙම දේශපාලන ගනුදෙනුව කෙසේ කරනු ඇතිදැයි සිතීම අසීරැය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දිව්රුම් දීම සංවිධානයට මැදිහත් වූයේ එ.ජා.ප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසය. ඔහු ජනාධිපතිවරයා මුණගැසී දිව්රුම් දීමේ මූලික කටයුතු ගැන සාකච්ඡා කළ විට ජනාධිපතිවරයා මුලින් කීවේ ඒ අවස්ථාවට රනිල් වික්‍රමසිංහ යුවළත් තවත් එක් අමුත්තකුටත් පමණක් සහභාගි විය හැකි බවය. එහෙත් සජිත් ඒ ගැන නැවත නැවතත් ජනපතිගෙන් ඉල්ලීම් කළ විට “එහෙම නම් දිව්රුම් දෙනකොට පස්දෙනකුට වඩා අමුත්තො ගේන්න එපා..” යැයි නැවතත් කීය. නමුත් පක්ෂයේ ඉල්ලීම වූයේ එ.ජා. පෙරමුණේ නායකයන් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ද පැමිණිය යුතු බැවින් අමුත්තන් 18 දෙනකුට පැමිණීමට අවසරය ලබාගත යුතු වගය.

ඒ අනුව සජිත් නැවත ජනාධිපතිතුමාගෙන් කළ සුහද ඉල්ලීම නිසා 18 දෙනාට පැමිණීමට අවසරය ලැබිණි. එහෙත් ඒ 18 දෙනා අතර අහවල්ලුන් දෙදෙනාට පැමිණීමට අවසරය නැතැයි ජනාධිපතිවරයා තරයේම පැවසීය. මේ දෙදෙනා පසුගිය කාලයේ ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කර තිබූ නිසා මෙම තහනම පැනවිණි. කෙසේ හෝ ගිය ඉරිදා උදෑසන 10.30 වනවිට ඒ තහනමට ලක්වූ දෙදෙනා හැර සෙසු ජ්‍යෙෂ්ඨයන් 18 දෙනා ජනාධිපති කාර්යාලයට පැමිණියෝය. ඔවුන්ට තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වුණි. ජනාධිපතිවරයා පැමිණියේ මඳක් පමාවීමෙන් පසුවය. කෙසේ හෝ දිව්රුම් දීම ඉතා සුහදව සිදුවිය.

එහෙත් ඉන් පසුව ජනාධිපතිවරයා විනාඩි 45කට ආසන්න කාලයක් කළ කතාව මගින් එ.ජා.පයේ පසුගිය පාලන කාලය දැඩි ලෙස විවේචනය කළේය. මහ බැංකු මංකොල්ලය, අධිකරණ විනිසුරුවරුන් පත්කිරීමේ වැරදි, සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමේ අවාසි මෙන්ම තමන් ඝාතනය කරන බවට සමහරු කළැයි කී තර්ජන, දෝෂාභියෝග චෝදනා ආදිය සිහිපත් කරමින් ජනාධිපතිවරයා කළ කතාව බෙහෙවින් ආවේගශීලී විය. අවසානයේ ඔහු සඳහන් කළේ මැතිසබයේ 225ම කීවත් රනිල් අගමැති නොකරන බවට තමන් ගත් ස්ථාවරයේ දිගටම සිටින බවය. ඒ ප්‍රකාශය තමන්ගේ පෞද්ගලික දේශපාලන ප්‍රකාශයක් බවත් මෛත්‍රී කීය.

කෙසේ හෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආවේගශීලී කතාවෙන් පසු එ.ජා.ප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉතා සන්සුන් ලෙස කතා කළේය. “නහී වේරේන වේරානි” යන ධම්මපද පාඨය මතක් කළ සජිත් “වෛරයෙන් වෛරය නොසන්සිඳේ” කියමින් ඉදිරියටත් ජනාධිපතිතුමා සමගින් සුහදව රජය පවත්වාගෙන යන්නට කැමැති බව කීය. ජනාධිපතිවරයාට දෝෂාභියෝග ගෙන ඒමට කිසිදු සූදානමක් නැතැයි කී හෙතෙම ඉදිරියේදී සාර්ථක ආණ්ඩුවක් ගෙන යාමට ජනාධිපතිවරයාගේ සහයෝගය ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය. එහෙත් එම හමුව අවසානයේ එ.ජා. පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් ජනාධිපති කාර්යාලයෙන් පිටත්ව ගියේ සතුටින් නොවේ.

එ.ජා. පෙරමුණ සම්බන්ධ එක්තරා සුළු පක්ෂ නායකයෙක් ප්‍රකාශ කළේ “මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති කරන්න තිබුණු රැස්වීම්වලට විතරක් මම මිලියන ගණනක් වියදම් කළා.. එහෙම අපි පත් කරගත්ත එතුමා අපට සැලකුවෙ මෙහෙමයි” කියාය. මෙම ජ්‍යෙෂ්ඨයා වයඹ පළාතේ දිස්ත්‍රික්කයක් නියෝජනය කරන සුළු පක්ෂ නායකයෙකි.

Loading...