Loading...

ලාංකීය දේශපාලන වංශකතාවේ 2018 ඔක්තෝබර් 26 දිනේ සිට 2018 දෙසැම්බර් 16 දිනය දක්වා කාල පරාසය කෙසේ ලියවෙනු ඇද්ද? එය අනාගතය විසින් තීරණය සිදුකරනු ඇත. අප ඊට පුරෝකථනය දීමට නොයමු. එහෙත් අනාගතය විනිශ්චයක් උදෙසා සාක්ෂි ඉතිරිකොට තබමු. අර්බුදය නිමාවීද? අර්බුදයට විරාමක් ලැබුවේද? තවමත් ජනතා සිත්සතන් තුළ සැකයකි. ඒ කෙසේ වුවද දෙසැම්බර් දෙවැනි සති අන්තයේ සිදුවූ සංකීර්ණ දේශපාලන සිදුවීම් දාමයේ අවස්ථා සම්බන්ධයක් ගොඩනඟා ගැනීම වටී. රනිල්, මෛත්‍රී, මහින්ද රජ තුන්කට්ටුව විසින් ඓතිහාසික දේශපාලන කතා තුනක් සිදුකරනු ලැබ තිබේ. ඒ අතරිනුත් ජනපති මෛත්‍රී විසින් සිදුකළ කතාවේ දේශපාලන ආන්දෝලය තවමත් දේශපාලන රඟමඬලේ රාව ප්‍රතිරාව නංවයි. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයන් ඉල්ලා අස්වෙමින් කළ විශේෂ ප්‍රකාශයත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ වැඩ බාරගත් පසු සිදුකළ කතාවත් සමස්ත සිදුවීම පිළිබඳව කරන මෙම විග්‍රහයේදී වැදගත් වේ.

පළමුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අගමැතිකම රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී නව ආණ්ඩුවේ පිරිස් ඉදිරියේ තබාගෙන කළ කතාව පිළිබඳව යම් විවරණයක් කළයුතුය. මෙය ඉදිරි වසරකුත් මාස 8ක කාලය සඳහා නිකුත් කරන ලද දේශපාලන රතු නිවේදනයක් හා සමානය. ජනාධිපතිවරයා තමා නායකත්වය දුන් ආණ්ඩුව විවේචනය කළ පළමු අවස්ථාව මෙය නොවුණත් ගෙදර එන්නට කියා කන්නත් දී පලුයන්නට බැනීමක් ලෙස මෙය හැඳින්විය හැකිය.

එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් විවිධ අවස්ථාවලදී ජනාධිපතිවරයාගේ කතාවට ප්‍රතිචාර ලැබුණද තවදුරටත් ඒවා ප්‍රබල ලෙස මතු නොවීය. ජනාධිපතිවරයා මෙම අර්බුදයේදී නඩු තීන්දුව සමඟ යම් පසුබෑමකට ලක්වුවද ඔහු සැලකිය යුතු විධායක බලයක් දරයි. ඒ නිසාවෙන් ජනාධිපති විරෝධී ආණ්ඩුවක් පවත්වාගෙන යාම ලෙහෙසි නැත. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවද එවන් අවස්ථාවන් පිළිබඳව අවබෝධයෙන් සැකසී නැති බව විචාරක මතයි. ඒ බව ජනාධිපතිවරයාද එජාපයද දනී. මෙම කතා තුනේදී එජාපය පසුපාදයට යන්නේද, ජනාධිපති ඉදිරිපාදයට එන්නේද එබැවිනි. ජනාධිපතිවරයා තමන් කළගුණ දන්නා පුද්ගලයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කළ කී දෑ ඉවසා සිටි බව කතාවේ අවස්ථා කිහිපයකදීම අවධානය කරයි.

“මේ ප්‍රශ්නයේදී පැහැදිලිව ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා දන්නවා, අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධූරයට පත්කරන අවස්ථාවේ මම දැඩි ලෙස විරුද්ධ වුණා. නමුත් මාව ජනාධිපති විදියට පත්කරලා සතියක් වගේ කාලයක් තුළ මම කලගුණ දන්නා කෙනෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මට කිසිදු ගැටුමක් අවශ්‍ය නැති නිසා එතුමාගේ දැඩි ඉල්ලීමට මම අර්ජුන් මහේන්ද්‍රන් පත්කළා.”

බැඳුම්කර සිදුවීමේදී රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ ආකාරය ඔහු දිගින් දිගටම සිහිපත් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ තබාගෙන සිදුකරන මෙම විවේචනය සරල දේශපාලන අර්ථයෙන් ඔබ්බට විග්‍රහ කර ගතයුතුය. “නැවතත් ඔබ අගමැති වුවත් පෙර සේ වැඩ කිරීමට මම ඉඩ නොදෙමි.” මෙහි සැඟව ඇති අර්ථයි. එසේ නම් මෙය හුදු විවේචනයකට වඩා තර්ජනයක් ලෙස විග්‍රහ කරගැනීමටද හැක. එය සාධනය වන කරුණු පසුගිය දේශපාලන සිදුවීම් දාමය නිරීක්ෂණයෙන් අපට හමුවේ. බලපෙරළියට පෙර රෝ කතාව සමඟ අගමැති ජනපති ගැටුමක් නිර්මාණය වූ ආකාරය අපට මතකය. කැබිනට් මණ්ඩලයේ අර්බුදය ගැන මැවුණු පුවත් එම වකවානුවේ විශාල වශයෙන් විය. එසේනම් ජනාධිපතිවරයා මේ සැරසෙන්නේ ඉදිරි වසරකට අධික කාලය තුළ දියත් කරන පසු නොබැසින අරගලයක විය හැක.

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු සිදුකළ කතාව  පෙර කී ලෙසින් පසුපාදයේ ක්‍රීඩා කිරීමකි. එහෙත් අවස්ථා කිහිපයකදී ආරක්ෂාකාරී නමුත් දැඩි ප්‍රහාර කිහිපයක් ඔහු විසින් එල්ල කරනු ලැබීය.

“ඒත් කරන්න බැරිවුණුදේත් තියෙනවා. සමහර වැඩ කටයුතුවල වේගය බාල වුණා. සමහර වැඩ කටයුතු අවසන් කරගන්න බැරිවුණා. ඒත් අපේ කැපවීම හා අධිෂ්ඨානය තියෙනවා. අපි අපේ අඩුපාඩු නිවැරුදි කරගන්නවා. විශේෂයෙන්ම දූෂණ වංචා සම්බන්ධ නඩු කටයුතු කඩිනම් කරනවා.”

ජනාධිපතිවරයා විසින් මුළු කතාව පුරාවට එල්ලකළ චෝදනා සඳහා අග්‍රාමාත්‍යවරයාගේ කතාවේ සෘජු පිළිතුරු නොතිබිණි. නමුත් ඉහත ප්‍රකාශය ඔහු ඉතා උපක්‍රමිකව භාවිතා කරයි. පසුගිය කාලයේ වූ පොදු ජනතා විරෝධය සඳහා මුහුණදීමටත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ගොඩනැගුණු ජනරැල්ල ආරක්ෂා කරගැනීමටත් ඔහු කටයුතු කරන අයුරු පෙනීයයි. සියල්ල ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව කතාව පුරා නැවත නැවතත් අවධාරණය කරන්නේ එබැවිනි. එහෙත් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සෘජුව තම මතය ඉදිරිපත් කරයි. එහෙත් ජනාධිපතිවරයාව වචනයෙන්වත් ඊට ඈඳාගන්නේ නැත.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව පාර්ලිමේන්තුවක් පත්වීමෙන් පසු වසර හතරහමාරක් යනතුරු විසුරුවා හැරීමට කිසිදු බලයක් කිසිවෙකුටත් නෑ. එසේ කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වූ යෝජනාවක් මගින් පමණයි. මේ ව්‍යවස්ථා ප්‍රතිපාදන උල්ලංඝණය කිරීමේ වරද මැතිවරණයකට මුවාවී නිවැරැදි කරගන්න බෑ. එවැනි නීති විරෝධී මැතිවරණයකට ඉඩ නොදිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේද සඳහන් වෙනවා.”

බහුතරය සම්බන්ධ කාරණාව සහ දෙමළ ජාතික සන්ධානය නව රජයට සහයෝගය දීම පිළිබඳව මෙම කතා තුන ඇසුරෙන් මීළඟට විමසමු. දෙසැම්බර් 15 වනදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයන් ඉල්ලා අස්වීම අවධාරණය කරමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවේ විජේරාම නිල නිවසේදීය. මෙම ප්‍රකාශයේ පුවත් මැවූ වදන් පෙළින්ම සාකච්ඡා වෙත එළඹෙමු.

“මෙතැන වෙලා තියෙන්නේ මන්ත්‍රිවරුන් 103ක් ඉන්න යූ.එන්.පී. සුළුතරය ටී.එන්.ඒ. එක විසින් ප්‍රාණ ඇපයට අරගෙන තියෙන එකයි. ටී.එන්.ඒ. එක කියන විදියට රට පාලනය කළේ නැතිනම් ඕනම මොහොතක යූ.එන්.පී. සුළුතරයට පාර්ලිමේන්තුවේ බහුතරය නැති වෙන්න පුළුවන්. ටී.එන්.ඒ. එකේ අතට තමයි රිමෝට් එක ගිහිල්ලා තියෙන්නේ.”

නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රීවරුන් 117 විශ්වාසය පළවූ බව අපට මතක ඇත. ඒ සඳහා ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන් 14 දෙනකුගේ සහයෝගය ලබුණි. මේ තත්ත්වය මහින්ද පාර්ශ්වය කළ විග්‍රහය ඉහත ප්‍රකාශය හරහා මනාව පැහැදිලි වෙයි. රනිල් වික්‍රමසිංහ මහතා අගැමැති ධූරය පත්වීමෙන් අනතුරුව 16 වැනිදා අරලියගහ මැඳුරේ සිදුකළ කතාවේද මෙම බහුතරය සම්බන්ධ කාරණාව මතුකරනු ලැබීය.

“රටේ අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තිබිය යුතුයි. බහුතර සහයෝගයක් නැතිව අගමැතිවරයෙකුට රටක් ඉදිරියට ගෙන යන්නට බැහැ. ඒ වගේම අගමැතිවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු අගමැති සහ ඇමතිවරු තනතුරුවලින් ඉවත් විය යුතුයි.”

තමා වෙත පැහැදිලි බහුතරයක් තිබෙන නිසාවෙන් අගමැතිකම හිමි වූ බව මෙම ප්‍රකාශයෙන් හැඟවෙයි. එහෙත් කිසිදු අවස්ථාව ද්‍රවිඩ සන්ධානයේ සහය ලැබීම පිළිබඳ කාරණය සිය කතාව තුළදී අගමැතිවරයා මතු කරන්නේ නැත. එහෙත් අද වනවිට නව විපක්ෂ කණ්ඩායම්වල ප්‍රමුඛතම තර්කය එයයි. එම නිසාම ව්‍යංගයෙන් එම කතාවේ එක් තැනකදී දෙමළ සන්ධාන හවුල පිළිබඳ නැගෙන චෝදනාවට ප්‍රබල පහරක් එල්ල කිරීමට අගමැතිවරයා මැලිවූයේ නැත.

“ජනාධිපතිවරණය ජයගැනීම සඳහා රට බෙදන එල්ටීටීඊ සංවිධානය සමග ගිවිසුම් ගහන්නට මම ගියේ නෑ. එදා මම මගේ මාතෘභූමිය වෙනුවෙන් ජනාධිපතිවරණ ජයග්‍රහණය පූජා කළා. අදත් මම ඒ ප්‍රතිපත්තියෙන් වෙනස් වෙලා නෑ.”

මේ අතීතය හා සැබැඳි කතාවකි. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා අනියමින් එල්.ටී.ටී.ඊ. සහය ලැබුණු බවට විපක්ෂ කණ්ඩායම් එකල නැගූ චෝදනාව අවස්ථානුකූලව රනිල් වික්‍රමසිංහ මහතා නැවත කරළියට ගෙනේයි. ඊට හේතුව පෙරදින මහින්ද රාජපක්ෂ මහතා කළ කතාවේදී 2002 එජාප සාම ගිවිසුම පිළිබඳව යම් සඳහනක් කර තීබීම විය හැකිය. තවද එක්සත් ජාතික පක්ෂය ඇතුළු කණ්ඩායම්වලට එල්ලවන සම්ප්‍රදායික කොටි ලේබලය ඉදිරියේදී විපක්ෂ කණ්ඩායම් සිය වාසිය සඳහා භාවිත කිරීමට ඉඩකඩ තිබේ. ඒ බව වික්‍රමසිංහ මහතා දනී. කල්ඇතුවම ඔහු ඊට සූදානම් වන සෙයකි.

මීළඟට ජනාධිපතිවරයා අගමැති දිවුරැම් දීමේදී සිදුකළ ආන්දෝලනාත්මක කතාවේ බහුතරය පිළිබඳව සඳහන් වූ දෑ පිළිබඳව විමසමු. නැවත රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය ලබාදීමට හේතුව පාර්ලිමේන්තුව ඔහු වෙත විශ්වාස පළකිරීම බව ඉන් යම් පමණකට අදහස් විය.
“පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවා කියලා, පාර්ලිමේන්තුවට කිසිම තැනක ජනාධිපතිට යෝජනා කරන්න, නියෝග කරන්න කිසි තැනක මෙන්න මෙයා අගමැති විදියට පත් කරන්න කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. අධිකරණයටත් බැහැ මම දන්න විදියට අහවල් පුද්ගලයා අගමැති විදියට පත්කරන්න කියලා කියන්න. ඒක බොහොම පැහැදිලිව තියෙන්නේ විධායක ජනාධිපතිවරයාට. නමුත් මම සදාචාර සම්පන්නව, පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරුකරන කෙනෙක් විදියට කතානායකතුමාගේ ඡන්දයේදී පාර්ලිමේන්තුවේ 117ක් ප්‍රකාශ කළ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයට අගමැතිකම දෙන්න කියලා මම ඒ තීන්දුව ගත්තා.”

225 අත්සන් කළත් පත් නොකරන කතාව තම පුද්ගලික මතය බවත් එය තවමත් වෙනස් වී නොමැති බව ජනාධිපතිවරයා පැවසුවේය. තවද ජනාධිපතිවරයා සිය කතාව අතරතුර පැවති එජාප ආණ්ඩුව ඩයස්පෝරා හිතවාදීව කටයුතු කිරීමද විවේචන කර තිබේ.

“ත්‍රිවිධ හමුදාව අත්අඩංගුවට ගැනීම, යුද්ධයක් කරපු රටක යුද ජයග්‍රහණය ලබාදීලා ම්ලේච්ඡ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් නැති කරපු අපේ රණවිරුවෝ හිරේ දාන්න එපා කියන එක මම නිතරම කියපු දෙයක්.”

ජනාධිපතිවරයා විසින් මීට සමාන විවේචන රාශියක් සිය කතාව පුරා එල්ල කරයි. මෙම කතා තුනම සැලකීමේදී තවත් ක්ෂේත්‍ර කිහිපයකටම පොදුවේ ඔවුන්ගේ අවධානය යොමුවිය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව, ව්‍යවස්ථාදායක සභාව දූෂණ වංචා ආදිය ඉන් කිහිපයකි. කෙසේ නමුත් අවසාන විග්‍රයේදී එජාපය ප්‍රමුඛ නව ආණ්ඩුව උපක්‍රමිකව ඉදිරියේදී කටයුතු කරනු ඇති බව පැහැදිලි වේ. අගමැතිවරයාගේ කතාවෙන් අවධාරණය වන්නේ එයයි. තම පැවත්ම සාධනය කරගැනීමත් ඉදිරි මැතිවරණයකදී පැහැදිලි ජයග්‍රහණයක් අත් කරගැනීමත් ඔවුන්ගේ අරමුණ වී නම් ජනාධිපතිවරයා සමඟ දීර්ඝ ගැටුමකට ඔවුන් නොයනු ඇත. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පාර්ශ්වය අවසානයේදී විපක්ෂයේ බලය අල්ලා ගැනීමට සමත්වීම ලද පරාජය හමුවේ වුවද යම් ජයග්‍රහණයකි. මහින්ද රාජපක්ෂ සිය කතාව තුළදී තවදුරටත් ජනාධිපතිවරයා සමග සමීප කටයුතු කරන බව අවධාරණය කර තිබේ. එසේ නම් මෛත්‍රී මහින්ද හවුලක් නිර්මාණය වීම තුළ තවත් බල දේශපාලන උපක්‍රම රට තුළ ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ. කෙසේ නමුත් තවම බලයේ දෝලනයක් මිස ස්ථීරසාර විතැන්වීමක් දක්නට නොලැබෙන බව කියයුතුය.
සමස්තයක් ලෙස දේශපාලන බලය පිළිබඳව පසුගිය කාලයේ වූ‍යේ සූදුවක් බව අපට පෙනෙන්නට තිබේ. දැන් එහි එක වටයක් අහවර වනවිට ජයග්‍රහණය එජාපය ප්‍රමුඛ කණ්ඩායම ලබා ඇත. අවසානයේ පැවති කථික තරගගේ ජයග්‍රාහකයා නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. එහෙත් සූදුවේදී ස්ථීර ජයග්‍රහණ නැත. වාසි නිතර මාරැවෙයි. කෙසේ නමුත් ජනපති අගමැති හා හිටපු අහමැති සිදුකරනු ලැබූ ඉහත ප්‍රකාශය තුළින් මෙරට ඉදිරියේදී හටගන්නා අර්බුදය රාශියක සලකුණු පෙනෙන්නට තිබේ.

► චමිඳු නිසල් ද සිල්වා

Loading...