Loading...

ජනාධිපතිවරණය, මහමැතිවරණය සහ පළාත් සභා ඡන්ද විමසීම එකම දිනකදී පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය කළ යෝජනාව මැතිවරණ කල් දැමීමට ගත් තවත් එක් උත්සහයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.

අමාත්‍ය වජිර අබේවර්ධන ඊයේ (22) කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරණය, මහමැතිවරණය සහ පළාත් සභා ඡන්ද විමසීම එකම දිනකදී පැවැත්වීමට ආණ්ඩුව කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි ද අදහස් පළ කළා.

එහිදී “අද මේ රටේ පළාත් 06ක ආණ්ඩුකාර පාලනයක් ගෙනියන්නේ. කරන්න බැරි දේවල් කියලා ජනතාව රවට්ටන්නේ නැතුව වජිර අබේවර්ධන තමන්ගේ විෂයපථය යටතේ තියෙන. දවසින් දවස කල්දාපු පළාත් සභා මැතිවරණය මාසයක් ඇතුළත තියන්න. මැතිවරණ කොමිසම දිගින් දිගටම කියා සිටිනවා ඔවුන් සූදානම් කියලා.” යනුවෙන් සඳහන් කළා.

මෙම මැතිවරණ 03ම එකම දිනක පැවැත්වීම තුළින් ඡන්ද දායකයින් ද අපහසුතාවයට පත් වනු ඇති බවයි අමාත්‍ය මනෝ ගනේෂන් පැවසුවේ.

මැතිවරණ තුනම එකම දිනයක පවත්වන්න ඕනේ කියපු ප්‍රකාශය ඇමතිවරයාගේ පෞද්ගලික මතය යැයි සිතන බවත් ආණ්ඩුව තුළ එවැන්නක් සාකච්ඡා කර නොමැති බවත් පෙන්වා දුන්නා. මැතිවරණ 03ක් එකවර පැවැත්වීමෙන් වියදම විශාල වශයෙන් අඩු කර ගැනීමට හැකියාව ලැබුණත් මැතිවරණ 03ක ප්‍රචාරණ කටයුතුවලින් පසුව ඡන්දය භාවිතා කිරීමට යන ජනතාවට විශාල අපහැදිළි තත්ත්වයක් ඇති විය හැකි බවද පැවසුවා.

කෙසේවෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේ මැතිවරණ කොමිසම නිසිලෙස කි‍්‍රයාත්මකවීමෙන් පමණක් දූෂණයෙන් තොර මැතිවරණ පැවැත්විය හැකි බවයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස වැඩි දුරටත් පෙන්වා දුන්නේ සියලු දෙනා උත්සහ කරන්නේ ආණ්ඩු බලය තබාගෙන මැතිවරණයකට යෑමට බවයි.

Loading...