Loading...

සියලු පළාත් සභාවල මැතිවරණ එකම දිනයක පවත්වන බව අභ්‍යන්තර, ස්‌වදේශ කටයුතු හා පළාත් පාලන සහ පළාත් සභා ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.

පළාත් සභා ඡන්ද විවිධ දිනවල පැවැත්වීමෙන් රාජ්‍ය බලය අයථා ලෙස යොදා ගන්නවා සේම වියදමත් වැඩි වන බවද ඊයේ (21 දා) සිය අමාත්‍යාංශයේදී නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීමෙන් පසුව පැවැති හමුවකදී ඇමැතිවරයා කීවේය.

එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය.

“මාධ්‍ය අහනවා පළාත් සභා මැතිවරණය තියන්නේ කවදාද කියලා. අපි පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් ජනතාවට දුන් පොරොන්දු පත්‍රිකාවේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා පළාත් සභා මැතිවරණය එකම දිනයකදී පවත්වනවා කියා. එක්‌ එක්‌ පළාත් සභා තනි කරලා මැතිවරණය විවිධ දිනවල පවත්වන්න කටයුතු කළොත් රාජ්‍ය බලය අයථා ලෙස යොදනවා කියලා චෝදනා නැගෙනවා. අතීතයේ එහෙම වුණා. මේ තත්ත්වය පාලනය කළ යුතුයි. ඒ නිසා මාධ්‍ය නිවැරැදිව ජනතාවට ඒ ගැන කියන්න. අපේ ප්‍රතිපත්ති කියවා ඒවා සමාජගත කරන්න. මේ රජය පළාත් සභා ඡන්දය විතරක්‌ නොවෙයි හැකි නම් ජනාධිපතිවරණය, මහ මැතිවරණය පවා එකම දිනයක දී පවත්වනවා. එවිට වියදමත් අඩුයි. අපි යා යුත්තේ එතැනට”

වජිර අබේවර්ධන අමාත්‍යවරයා සිය රාජකාරි ආරම්භ කරන අවස්‌ථාවේ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඡේ. සී. අලවතුවල මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන අශෝක ධනවංශ ජයන්ත ජයවීර යන මහ්තවරු ද ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පළාත් පාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීහු රැසක්‌ ද සහභාගි වී සිටියහ.

Loading...