Loading...

ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් කළු මාධ්‍ය පිළිබඳ සියල්ල හෙළිකරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය ආරම්භ කරමින් අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඇමැති ධුර සඳහා මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්‌තුව ඉදිරිපත් කළේ අගමැති ලේකම් කාර්යාලයෙන් බවත් එසේ ඉදිරිපත් නොකළ මන්ත්‍රීවරුන්ගේ නම් කපා දමා ඇතැයි ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රකාශ කර තිබෙන බවත් ය.

අදාළ මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවීම සඳහා චෙක්‌පත් සූදානම් කරගන්නා ලෙස ඒ මාධ්‍යවලට දැනුම් දෙන බව ද අගමැතිවරයා කීවේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය,

“අපි බලාපොරොත්තු වුණේ නොවැම්බර් 05 අයවැය ඉදිරිපත් කර ජනතාවට සහන දෙන්න. නමුත් ඇති වූ අර්බුදය නිසා එය කළ නොහැකි වුණා. නමුත් අර්බුදයෙන් එක්‌ කරුණක්‌ පැහැදිලි වුණා. බහුතර බලය ඇති ආණ්‌ඩුවක්‌ සහිත පාර්ලිමේන්තුවෙන් පමණයි මුදල් පාලනය පිළිබඳ බලතල ක්‍රියාත්මක වන්නේ කියන එක. අතුරු සම්මත ගිණුම ගෙන එන්න වුණේ මේ අර්බුදය නිසායි. මේ අතුරු සම්මත ගිණුම ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීමේ පියවරක්‌. පාර්ලිමේන්තුව නීති විරෝධී ලෙස විසුරා හැරියා නම් අතුරු සම්මත ගිණුමක්‌ ගෙන එන්න බැරි වෙනවා. ජනවාරි 01 සිට මුදල් ලබාගන්නයි මේ අතුරු සම්මත ගිණුම සම්මත කරන්නේ. ලබන සතියේ සිට දිසාපති හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස්‌ ගම්පෙරළිය වැඩසටහන අරඹන ලෙස මම රාජ්‍ය පරිපාලන ඇමැතිවරයාට කියනවා.

කැබිනට්‌ හා අනෙක්‌ ඇමැතිවරු පත් කළ පසු මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්‌ කරන්නම්. විවිධ මත තිබෙනවා විජයමුණි සොයිසා මහතාගේ නම මම යෑව්වෙත් නෑ. ඒත් මාධ්‍යවල තියෙනවා මම ඒ නම යෑව්වා කියලා. මේක තමයි කළු මාධ්‍ය. ඔක්‌තෝබර් 26 දා සිට කළු මාධ්‍ය මොනවද කළේ කියා දන්නවා. නඩු දැම්මාම සල්ලි තියෙනවද ගෙවන්න. නම් ලැයිස්‌තුව එවන්නේ අගමැති කාර්යාලයෙන්. එක සැරේ හැප්පිලා කරන්න ඕනේ නෑ. කතාකරගෙන යන්න පුළුවන්. කළු මාධ්‍ය ගැන ජනවාරි මාසෙ විවාදයක්‌ කරලා ඔක්‌කොම හෙළි කරනවා. අපිට මාධ්‍ය නැති කරන්න ඕනේ නෑ. කියන්න ඕන දේ මම කියනවා. ඒ ගැන කිසිවක්‌ හිතේ තියාගන්න ඕනේ නෑ. කරුණාකරලා චෙක්‌පත් ටික ලෑස්‌ති කරගෙන තියාගන්න”

Loading...