Loading...

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බැවින් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය සහ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව පක්‍ෂයේ සාමාජිකයකු වෙනත් දේශපාලන පක්‍ෂයක සාමාජිකත්වය ලබා ගත් විට පක්‍ෂය තුළ ඔහු දැරූ සියලූ තනතුරු ඉබේම අහෝසි වන බවද හෙතෙම පැවසීය.

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට තව දුරටත් එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස කටයුතු කිරීමට හැකියාවක් නොවන බව ඔහු කියා සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහා ලේකම්වරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම්වරයා වහාම මේ පිළිබඳව පාර්ලිමේන්තු මහා ලේකම්වරයාට සහ මැතිවරණ කොමිසමට දැනුම් දිය යුතු යැයි ද හෙතෙම අවධාරණය කර සිටී.

මහා ලේකම්වරු දෙදෙනා තමන්ගේ වගකීම නිසි ලෙස ඉටුනොකරන්නේ නම් අධිකරණය වෙත යෑමට සූදානම් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නැති පුද්ගලයකුට අගමැති ලෙස කටයුතු කළ නොහැකි යැයි ද උප සභාපතිවරයා පැවසීය.

Loading...